ඉතාම පරිපූර්ණ සමක් ලබා ගැනීම සදහා සරල සාර්ථක පියවර 8 ක්

ආකර්ෂණීය මේකප් එකක් කරගන්න නම් ඔයාට ලස්සන සමක් තියෙන්න ඕන. අපි මේ කියන්නෙ සුදු පාට හමක් ගැන නෙවෙයි. පැහැදිලි මුහුණක් තියෙන්න ඕන කියලයි. සමහර ගැහැණු ළමයි ප්‍රසිද්ධ හා මිල අධික ආලේපන තෝරාගෙන යූ ටියුබ් වීඩියෝ බලලා අලුත් මේකප් ක්‍රම අත්හදා බලනවා. හැබැයි ඒ අතරින් ගොඩදෙනෙක්ට එයාලට ඕන විදිහේ ලස්සන මේකප් එකක් කරගන්න ලැබෙන්නෙ නම් නෑ.

අඩු මහන්සියකින් ඔයාගෙ සමට පරිපූර්ණ පෙනුමක් ලබාගන්නෙ කොහොමද කියලයි අද අපි ඔයාට කියලා දෙන්නෙ. ඔයාගෙ මේකප් සම්බන්ධ දැනුම තවත් වැඩිකරගන්න මේ ලිපිය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

01. නිවැරදිව සම පිරිසිදු කර, ටෝනර් හා මොයිස්චරයිස් කරන්න.

ඔයාගෙ සම ගැන සැලකිලිමත් වීම වගේම, සම ලස්සනට සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න. පෝෂ්‍යදායී සහ විටමින් අඩංගු ආහාර අනුභව කරන්න. ඔයාගෙ සමේ වර්ගයට ගැලපෙන ආලේපන තෝරා ගන්න.

රූපලාවණ්‍ය විශේෂඥයින් කියන්නෙ නිතරම මුහුණේ සම ස්ක්‍රබ් කරලා සමට සුදුසු ෆේස් මාස්ක් දාන එක මුහුණට ගොඩක් හොඳ බවයි. දිනපතා උදේ හවස ඔයාගෙ සම පිරිසිදු කිරීම, ටෝනිං කිරීම සහ මොයිස්චරයිසින් කිරීම අනිවාරෙන්ම කරන්න ඕන. ඒ සඳහා ටොනික් විලවුන් හා මොයිස්චරයිසින් ක්‍රීම් භාවිතා කරන්න පුලුවන්.

02. සමේ අඩුපාඩු සඟවන්න

අඩුපාඩු සැඟවීම සඳහා විවිධ වර්ගවල කන්සීලර් භාවිතා කරනවා. කොළ පාට කන්සිලර් මඟින් රතු ලප හා කුරුලෑ සඟවන්න පුලුවන්. දබරැඟිල්ලෙන් හෝ ස්පොන්ජ් කැබැල්ලක් මගින් මුහුණේ රතු ලප හා කුරුලෑ මත කන්සීලර් ආලේප කරන්න. මුහුණේ කහ හෝ දුඹුරු ලප සැඟවීමට අවශ්‍ය නම්, දම් පාට හෝ නිල් පාට කන්සීලර් භාවිතා කරනවා.

03. ඇස් වටා අඳුරු ලප සඟවන්න

ඇස් වටා ඇතිවන අඳුරු ලප සැඟවීමට කන්සිලර් භාවිතා කරනවා. හැබැයි, එකවරම ඇස්වටා කන්සීලර් ආලේප කරනවට වඩා හොඳම දේ තමයි, කන්සීලර්වලින් ඇස් වටා ත්‍රිකෝණයක් ඇඳලා ඇඟිලිවලින් ඇස්වටා ආලේප කරගන්න.

ඒ වගේම, ඇස් වටා ගොඩාක් අඳුරුයි නම් රතු පාට ලිප්ස්ටික් ස්වල්පයක් ඇස් වටා ආලේප කිරීමෙන් විසඳුමක් ලබාගන්න පුලුවන්. අඳුරු ලප ඇති ප්‍රදේශය මත රතු ලිප්ස්ටික් ටිකක් ආලේප කරලා පරෙස්සමට බ්ලෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඊට උඩින් කන්සීලර් ආලේප කරලා හොඳින් මිශ්‍ර කරන්න.

04. නිවැරදිව ෆවුන්ඩේෂන් එක තෝරගන්න.

ෆවුන්ඩේෂන් එකක් තෝරගන්නකොට ඔයාගෙ මුහුණේ සමේ පාටට ගැලපෙන විදිහට තෝරගන්න සැලකිලිමත් වෙන්න. මුහුණට වඩාත්ම ගැලපෙන ෆවුන්ඩේෂන් පාට තෝරගැනීමට, බෙල්ලට ෆවුන්ඩේෂන් ස්වල්පයක් ආලේප කරලා බලන්න. කාලගුණය වගේ හේතු නිසා නිතරම ඔයාගෙ මුහුණේ පාට වෙනස් වෙන නිසා, ෆවුන්ඩේෂන් තෝරගන්නකොට මුහුණේ ගාලා බලන්න එපා.

ෆවුන්ඩේෂන් ආලේප කිරීමේදී මුහුණේ මැද සිට විශේෂ පළල් බුරුසුවකින් හෝ ඇඟිල්ලෙන් ආලේප කරන්න. ඔයාගෙ නළල සහ නාසයේ දෙපැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

05. මුහුණේ හැඩය ඉස්මතු කරන්න.

මුහුණේ අඩුපාඩු සැඟවීමට ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි, මුහුණේ හැඩය ඉස්මතු කිරීම කියන්නෙ. හැබැයි ඒකට දියර සහ ක්‍රීම් වශයෙන් තියන කන්සීලර් ආලේප කලොත් එයින් මුහුණේ ස්වභාවික පෙනුම ඉවත් වෙනවා. එදිනෙදා මේකප් එකකදි කන්සීලර් මගින් මුහුණේ අඩුපාඩු සැඟවීම සුදුසු නෑ. ඒ වෙනුවට පවුඩර් කන්ටේනර් සහ හයිලයිට් මගින් මුහුණට වඩාත් ස්වභාවික පෙනුමක් ලබාදෙමින් අඩුපාඩු සඟවගන්න පුලුවන්.

මේ පින්තූර වල පෙන්වා තිබෙන පියවර අනුගමනය කිරීමෙන් හරියටම මුහුණේ හැඩය ඉස්මතු කරගන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. මුහුණේ ඉස්මතු කිරීමට අවශ්‍ය ප්‍රදේශවලට ලා පාටකුත්, සැඟවීමට අවශ්‍ය ප්‍රදේශ තද පාටකුත් ආලේප කරන්න.

ඕවල් හැඩයේ මුහුණක හැඩය ඉස්මතු කිරීමේදී, කොණ්ඩය ආරම්භ වන තැන, නිකට සහ නළලට තද පාටක් ආලේප කරන්න. පටු මුහුණ තරමක් පළල් වී පෙනීමට, කම්මුල් වල බ්ලෂර් ආලේප කරන්න.

ඔයාට තියෙන්නෙ වටකුරු මුහුණක් නම්, ඔයා මුහුණ දිගට පෙනෙන ආකාරයට මුහුණේ හැඩය ඉස්මතු කරගන්න ඕන. ඒ සඳහා මුහුණේ දෙපැත්තට තද පාටක් යොදන්න. (නළල දෙපැත්ත, කම්මුල් ඇට සහ නිකට දෙපැත්ත) ඒ වගේම නළල, නිකට හා ඇස් යට ප්‍රදේශයට ලා පාටක් යොදා හයිලයිට් කරන්න.

ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණක් තියන කෙනෙක් නම්, මුහුණේ ඉහළ කොටස පටු කළ යුතු අතර පහළ කොටස තරමක් පළල්ව පෙනෙන ආකාරයට මුහුණේ හැඩය හදාගන්න ඕන. ඒ සඳහා නළල දෙපැත්ත හා නළලේ කැපී පෙනෙන ප්‍රදේශ තරමක් අඳුරු කරන්න. ඉන්පසු නළල, නිකට හා ඇස් යට ප්‍රදේශයේ මැද ඉස්මතු කරන්න.

ඔයාට තියෙන්නෙ සෘජුකෝණාස්‍ර හැඩයේ මුහුණක් නම්, මුහුණේ තියුණු රේඛා සුමට කරලා ඔයාගෙ මුහුණට දියමන්ති හැඩයක් ලබා දෙන්න ඕන. ඒ සඳහා, නළල දෙපැත්ත හා නිකටට පහළ රේඛාව තරමක් අඳුරු කරන්න. ඉන්පසු ඔයාගෙ නළලේ මැද, ඇස් යට ප්‍රදේශය හා නිකටේ කෙළවර ඉස්මතු කරන්න.

06. බ්ලෂර් යොදන්න

පැහැපත් සමක් තියන අය රෝස පාටින් බ්ලෂර් භාවිතා කලාම ලස්සනයි. දුඹුරු සහ කොරල් පාට බ්ලෂර් සුදුසු වෙන්නෙ අඳුරු පාට හමටයි. ඒ වගේම දුඹුරු-රෝස පාට ඕනම කෙනෙක්ට ගැලපෙනවා.

නිවැරදිව බ්ලෂර් ආලේප කිරීමට ලයිට් බ්ලෂර් සහ විශේෂ බුරුසුවක් භාවිතා කරන්න. ආලේප කිරීමේදී හිනාවෙනකොට ඔයාගෙ කම්මුල් වල කැපී පෙනෙන ප්‍රදේශවලට බ්ලෂර් ආලේප කරන්න.

07. මේකප් එක සෙට් කරගන්න.

කඩදාසි තුවායකින් ඔයාගෙ මුහුණ පරිස්සමට පිහිදන්න. ඉන්පසු ඔයාගෙ නිකට, ටී කලාපය, ඇස් යට ප්‍රදේශය හා තොල් වටා පවුඩර් ආලේප කරන්න. දිලිසීම වැළැක්වීම සඳහා කම්මුල් වලට පවුඩර් ආලේප කිරීමෙන් වළකින්න.

08. තොල් වලට සත්කාරයක්

තොල් අඳුරු වීමට විවිධ හේතු බලපානවා. ඒත් මේකප් එකකදි තොල්වල අඳුරු පෙනුම නැති කරගන්න එක ගොඩක් වැදගත්.

අපේ තොල් වල සම ඇත්තටම ගොඩක් සිහින් නිසා දුම්පානය, කෝපි සහ තේ පානය නිසා ලේසියෙන්ම තොල් අඳුරු වෙනවා. ඒ නිසා නිතරම තොල් මොයිස්චරයිස් කරන්න අමතක කරන්නත් එපා.

බීට්රූට්, මීපැණි හා කිරි මිශ්‍ර කරලා හදාගත් පේස්ට් එකක් තොල් වලට ආලේප කිරීමෙන් තොල්වල අඳුරු පැහැය නැති කරගන්න පුලුවන්. රෑට නින්දට යන්න කලින් ඒ ආලේපනය තොල්වල ආලේප කරගන්න. දවස් කිහිපයක් යනකොටම ඔයාට හොඳ ප්‍රතිඵලයක් දැකගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.