ඔබව තරුණ කර දිලිසෙන සමක් ලබාදෙන ආහාර 17 ක්

සම කියන්නෙ අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය. අපි ආහාරයට ගන්න දේවල්වල හොඳ නරක අපේ සමෙන් එළියට පෙන්වනවා. ඒ නිසා ක්‍රීම් හා ලෝෂන් වර්ගවලට විතරක් ඔයාගෙ සම ලස්සන කරන්න බෑ. ඔයාගෙ ආහාර රටාවත් සමේ සෞඛ්‍යයට බලපානවා. සම වයසට යන්න පටන් ගන්නෙ ශරීරය ඇතුළත සිටයි. ඒ නිසා නිවැරදි ආහාර රටාවකට යොමු වෙලා සම ඇතුළත සිට රැක බලාගන්න ඕන.

අද අපි ඔයාට කියන්න යන්නෙ ඔයාගෙ සම වයසට යාම වළක්වගන්න උදව් වෙන සරල ආහාර වර්ග 17 ක් ගැනයි. සමේ වයසක පෙනුම නැති වෙලා සමට ලස්සන දිලිසෙන පෙනුමක් ලබා දෙන්නත් මේ ආහාර වර්ග ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.

01. මේදය සහිත මාළු වර්ග

සෞඛ්‍ය සම්පන්න දිලිසෙන සමකට සැමන්, මැකරල්, හුරුල්ලන්, සාඩින්, ටූනා වගේ ඔමේගා-3 මේද අම්ල වැඩිපුර තියන මාළු වර්ග ගොඩක් වැදගත් වෙනවා. ඔමේගා-3 මේද අම්ල මගින් සම මොයිස්චරයිසින් කරලා සමේ දැවිල්ල අඩු කරනවා. මේ මාළු වර්ගවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, විටමින් ඊ හා සින්ක් මගින් සමේ තුවාල සුව කිරීමටත්, කුරුලෑ අඩු කිරීමටත් උදව් වෙනවා.

02. නට්ස් වර්ග

නට්ස් වර්ගවලත් ඔමේගා-3 මේද අම්ල, සින්ක් හා විටමින් ඊ බහුලයි. ඒ වගේම, ඔයාගෙ සම තරුණ හා දීප්තිමත් ලෙස තබා ගැනීමට උදව් වෙන, වෙනත් ඛනිජ හා විටමින් වර්ගත් අඩංගු වෙනවා. සමේ රෝග වළක්වන්න උදව් වෙන විටමින් බී වර්ග කිහිපයක්, සෙලේනියම් කියන හොඳ ප්‍රතිඔක්සිකාරකය හා වයස්ගත වීම අඩු කරන විටමින් සී වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ නට්ස් වල තියනවා. උදාහරණයක් විදියට වොල්නට්, ආමන්ඩ් හා කජු වගේ නට්ස් වර්ග අපේ සමට ගොඩක් වැදගත්.

03. අලිගැටපේර

අලිගැට පේර කියන්නෙ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පිරුණු තවත් ආහාරයක්. එමගින් ඔයාගෙ සමේ නැමෙන සුළු බව හා තෙතමනය වැඩි දියුණු කරනවා. ඒ වගේම අලිපේරවල කැරොටිනොයිඩ් බහුලයි. එමඟින් සමට හිරු කිරණවලින් සිදුවන හානිවලින් සම ආරක්ෂා කරනවා. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන ෆයිටොකෙමිකල්-ඩී-මැනෝහෙප්ටුලෝස් අලිගැටපේරවල අඩංගු වෙනවා.

04. ග්‍රීන් ටී

ග්‍රීන් ටී කියන්නෙ ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම පානයක්. ඒක රසවත් පානයක් විතරක් නෙවෙයි, ඔයාගෙ සමේ සෞඛ්‍යයටත් ගොඩාක් ප්‍රයෝජනවත්. ග්‍රීන් ටිවල පොලිෆෙනෝල් හා කැටචින් කියන ප්‍රතිඔක්සිකාරක බහුලව තියන නිසා ඔයාගෙ සම හිරු කිරණවලින් වන හානිවලින් ආරක්ෂා කරනවා. ඒ වගේම සමේ දැවිල්ලට නැති කරලා සමේ රතු පැහැය අඩු කරනවා.

05. යෝගට් හා කෙෆීර්

යෝගට් හා කෙෆීර් කියන්නෙ සජීවී ප්‍රෝබියොටික් වලින් පිරුණු ආහාර වර්ග දෙකක්. එමඟින් ඔයාගෙ සම රතු වීම, ආසාදන ඇතිවීම හා කුරුලෑ අඩු කරනවා. අහිතකර බැක්ටීරියා මගින් බඩවැල් තුළ ඇතිවන දැවිල්ලට එරෙහිව සටන් කරන නිසා සමේ ඇතිවන රෝග බොහොමයකුත් අඩු කරනවා.

ඔයාගෙ සම අලුත් කරගන්න ඔයාට යෝගට් පාවිච්චි කරන්න පුලුවන්. යෝගට් වල තියන ලැක්ටික් අම්ලය මගින් වයස්ගත වීම අඩු කරනවා. එමඟින් සමේ සිහින් රැළි ඇතිවීම අඩු කරලා ඔයාගෙ මුහුණට නිරෝගී, ලස්සන පෙනුමක් ලබාදෙනවා.

06. මී පැණි

මී පැණිවල ස්වාභාවිකවම ප්‍රතිබැක්ටීරීය, ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු වෙනවා. එමගින් ඔයාගෙ සමට ගොඩාක් ප්‍රයෝජන ලබාදෙනවා. ෆේස් මාස්ක් වලට මී පැණි යොදා ගන්නේ මුහුණේ දැවිල්ල අඩු කිරීම, කුරුලෑ සුව කිරීම හා වියළි සම මොයිස්චරයිසින් කිරීමටයි. ඒ විතරක් නෙවෙයි, වෙනත් රසකැවිලි හෝ පැණිරස ආහාර වර්ග වෙනුවට මී පැණි ආහාරයට ගන්න පුලුවන් නම් ඔයාගෙ ශරීරයට තවත් ප්‍රයොජන ගොඩක් ලබාගන්නත් පුලුවන්.

07. බ්ලූබෙරි

ගොඩක් බෙරි වර්ග ඔයාගෙ සමට විතරක් නෙවෙයි ඔයාගෙ සෞඛ්‍යයටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අතරින් බ්ලූබෙරි ගොඩාක් හොඳයි. බ්ලූබෙරිවල ප්‍රතිඔක්සිකාරක බහුලව තියනවා. එමඟින් ඔයාගෙ සමට සිදුවෙන නිදහස් රැඩිකල් හානිවලට එරෙහිව සටන් කිරීමට වගේම සම ඇතුළත සිට අලුත්වැඩියා කිරීමටත් උදව් වෙනවා. බ්ලූබෙරීස් වල තියන ඇන්තොසියානින් මගින් කොලජන් නිපදවීම වැඩි දියුණු කරනවා. එමඟින් ඔයාගෙ සම තරුණව හා සෞඛ්‍ය සම්පන්නව පවත්වගන්න පුලුවන්.

08. දොඩම්

දොඩම් වල විටමින් සී හා ජලය බහුලයි. ජලය මගින් සම තෙත් කරලා සමේ බිඳවැටීම් වළක්වනවා. විටමින් සී හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර කොලජන් නිපදවීමට උදව් වෙනවා. කොලජන් මගින් සම ස්ථිරව තියාගන්න උදව් වෙනවා.

09. දෙළුම්

දෙළුම් කියන්නෙ සමට හිතකර විටමින් සී වලින් පොහොසත් පලතුරක්. දෙළුම් වල එලාජික් අම්ලය හා පුනිකලැජින් අඩංගුයි. පුනිකලැජින් මගින් කොලජන් ආරක්ෂා කර ගැනීමට ශරීරයට උදව් කරනවා. එලාජික් අම්ලය, නිදහස් රැඩිකලුන්ගෙන් සමට වන හානිය අඩු කරනවා. ඒ වගේම කොලජන් බිඳවැටීමේ වේගයත් අඩු කරනවා.

10. තක්කාලි

තක්කාලි කියන්නෙ විටමින් සී අඩංගු තවත් හොඳ ආහාරයක්. තක්කාලිවල ලයිකොපීන්, ලුටීන්, ඇල්ෆා කැරොටින් හා බීටා-කැරොටින් වගේ ප්‍රධාන කැරොටිනොයිඩ් අඩංගු වෙනවා. ප්‍රතිඔක්සිකාරක කැරොටිනොයිඩ් මගින් සමට හිරු කිරණවලින් සිදුවන හානිවලින් සම ආරක්ෂා කරලා සම රැළි වීම වළක්වනවා.

තක්කාලිවල හොඳම ප්‍රයෝජන ලබා ගන්න නම් ඒවා අමුවෙන් කනවාට වඩා ඔලිව් තෙල් වගේ සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ගයක් එකතු කරලා උයලා කන්න උත්සාහ කරන්න. එමගින් ඔයාගෙ ශරීරයට වැඩිපුර ලයිකොපීන් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නත් පුලුවන්.

11. නිවිති සහ කැලේ

කොළපාට එළවළු වර්ග දෙකක් වන නිවිති හා කැලේ විටමින් A, C හා E ඇතුළුව සමට හිතකර විටමින් වලින් පිරිලා තියනවා. විටමින් A මගින් සමේ සෙබන් නිෂ්පාදනය පාලනය කරනවා. විටමින් සී මගින් කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරනවා. විටමින් ඊ මගින් සමට ඔක්සිකාරකවලින් සිදුවන හානි අඩු කරනවා. ඔයාගෙ සම මොයිස්චරයිසින් කරලා සමේ රැළි නැති කරනවා. නිවිති හා කැලේ මගින්, බඩවැල්වල දැවිල්ල නැති කරන්නත් උදව් වෙනවා.

12. බෙල් පෙපර්

හැම පලතුරු හා එළවළු වර්ගයක් අතරින්ම රතු හා කහ බෙල් පෙපර්වල වැඩිපුරම විටමින් සී අඩංගුයි. ඒවා සමට නිරෝගී විටමින් බී 6 සහ බී 9 (ෆෝලේට්) වගේම කැරොටිනොයිඩ් වලිනුත් පොහොසත් වෙනවා. සමේ රෝග, දද හෝ කුරුලෑ වගේ ගැටලු වළක්වා ගැනීමට විටමින් B6 උදව් වෙනවා. ෆෝලේට් මගින් සමේ ස්ථායිතාව වැඩි දියුණු කරනවා.

රතු, කහ විතරක් නෙවෙයි, ඕනම පාටක බෙල් පෙපර් වලින් ඔයාට ගොඩක් පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා.

13. පැසුණු ආහාර

යෝගට් හා කෙෆීර් විතරක් නෙවෙයි, ඕනම පැසුණු ආහාරයක ප්‍රෝබියොටික් තියනවා. ඔයාගෙ බඩවැල්වල තියන අහිතකර බැක්ටීරියා සමතුලිත කිරීමට, සමේ දැවිල්ල පාලනය කිරීමට වගේම සමේ රැළි වළක්වා ගැනීමටත් ඒවා උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒවායේ අඩංගු ලැක්ටික් අම්ලය මගින් සමේ වයස්ගත වීම වළක්වනවා.

14. කහ

කහවලට ප්‍රති-ගිනි අවුලුවන ගුණ තියනවා. ඒ නිසා කුරුලෑ සුව කිරීමට හා සම රතු වීම අඩු කිරීමටත්, සමට ඔක්සිකාරකවලින් සිදුවන හානිය වළක්වා ගැනීමටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හිරුකිරණවලින් හානි වී ඇති සම අලුත්වැඩියා කිරීමට හා සමේ පිළිකා වැළැක්වීමටත් කහ ප්‍රයෝජනවත් වෙනවා.

15. අමු කොකෝවා

ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන රෙස්වෙටරෝල් අඩංගු වීම නිසා අමු කොකෝවා සෞඛ්‍යයට ගොඩක් ප්‍රයෝජනවත් ආහාරයක්. එමගින් හිරු කිරණවලින් හානි වූ සම ආරක්ෂා කර අළුත්වැඩියා කරනවා. සම අකලට වයසට යාම වළක්වනවා. කොකෝවාවල අඩංගු මැග්නීසියම් මගින් සමේ ආසාදන අඩු කරනවා.

බැදපු කොකෝවා සහ කොකෝවා වලින් හදපු ඩාර්ක් චොක්ලට් වලත් රෙස්වෙටරෝල් තියනවා. ඒත් ලොකු ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නෑ. කොකෝවාවල තියන උපරිම පෝෂක ප්‍රමාණය ලබාගන්න නම් අමු කොකෝවා ස්මූති හෝ යෝගට් වලට එකතු කරන්න.

16. ඕට්ස්

ඕට්ස්වල මැංගනීස් බහුලව තියනවා. මැංගනීස් මගින් සමට අත්‍යවශ්‍ය විටමින් හා කොලීන්, බයෝටින්, විටමින් සී වගේ ඛනිජ ලවණ අවශෝෂණය කර ගන්න උදව් වෙනවා. ඒවා සමේ නැමෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට හා නිදහස් රැඩිකලුන්ගෙන් සමට සිදුවන හානිවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ඒවගේම ඕට්ස්වල සම සුව කරන සින්ක් හා ප්‍රතිඔක්සිකාරකයක් වන සෙලේනියම් අඩංගුයි.

17. ඔලිව් තෙල්

අපේ මුළු සෞඛ්‍යයටම ගොඩක් ප්‍රයෝජනවත් තෙල්වලින් එකක් තමයි ඔලිව් තෙල් කියන්නෙ. එහි ඔමේගා-3 මේද අම්ල හා පොලිෆෙනෝල් අඩංගුයි. ඔමේගා-3 මගින් සම මොයිස්චරයිසින් කරනවා. පොලිෆෙනෝල් මගින් සම ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කරලා සමේ දැවිල්ල නැති කරනවා.

Leave a Reply

Your email address will not be published.