ඔබ අතින් නොදැනුවත්වම සිදුවන හිසකෙස් සත්කාර වැරදි 6 ක්

අපි හිතාගෙන ඉන්නෙ දිනපතා හිසකෙස් සේදීම මගින් විතරක් අපේ කොණ්ඩට බලාගන්න පුලුවන් කියලයි. ඒත් ඇත්තටම හිසකෙස් සේදීම සහ වියළීම අතරතුර අපේ හිසකෙස් වල සෞඛ්‍යය කඩාකප්පල් කළ හැකි බොහෝ වැරදි අපගෙන් බොහෝ දෙනෙක් අතින් සිදුවෙනවා. සමහර විට ඔයාගෙ හිසකේ සත්කාරක චර්යාව විදිහට ඔයා කරන්නෙ ෂැම්පු දාලා කොණ්ඩෙ සරලව සේදීම පමණයි. නැත්නම් ඔයා හුතාගෙන ඉන්නවා ඇති ඔයා හැමදේම හරියට කරනවා කියලා. ඒත් ඔයා නොදැනුවත්වම කරන සමහර හිසකේ සත්කාරක වැරදි මගින් ඔයාගෙ කොණ්ඩයට හානි සිදුවෙනවා.

ඉතින් අද අපි ඔයාට කියලා දෙන්නෙ හිසකෙස් රැකවරණ ක්‍රියාවලිය අතරතුර නොදැනුවත්වම හෝ ඔයාගෙ අතින් වෙන්න පුලුවන් වැරදි 6ක් ගැනයි.

01. හිසකෙස් වැරදි ආකාරයට සේදීම.

නාන අතරතුර හිටගෙන කොණ්ඩය සේදීම අපට පහසු වුණත්, හිස පහතට හරවා කොණ්ඩය සේදීමෙන් වැඩිපුර වාසි ලබාගන්න පුලුවන්. ඔයාට දිගු කෙස් කලඹක් තිබෙනවා නම්, එය උඩු යටිකුරු කිරීමෙන් ඔයාගෙ හිසකෙස්වල සැඟවුණු ස්ථරවලට පිරිසිදු කිරීමේ නිෂ්පාදන යෙදීම පහසු වෙනවා. ඔයාගෙ සම සංවේදී, කුරුලෑ ඇති සමක් නම්, හිසකෙස් උඩු යටිකුරු කර සේදීම ගොඩාක් සුදුසුයි. මොකද, එමගින් හිසකේ සත්කාරක නිෂ්පාදන සහ තෙල් ඔයාගෙ බෙල්ලට සහ පිටට වැටී ඔයාගෙ සමට කෝපයක් ඇති කරවීමෙන් වළකිනවා.

02. අපිරිසිදු හිසකෙස් මත වියළි ෂැම්පු භාවිතා කිරීම

ඔයාට නාන්න වෙලාවක් නැති වුණාම ඩ්‍රයි ෂැම්පු භාවිතා කිරීමෙන් හිසකෙස්වලට නැවුම් පෙනුමක් ලැබෙනවා. මේ ක්‍රමය මගින් කෙස්මුල්වල තියන තෙල්ගතිය ඉවත් කරනවා වගේම තවත් අවාසි කිහිපයකුත් හිසකෙස්වලට ලබාදෙනවා. වියළි ෂැම්පු නිතර භාවිතා කිරීම මගින් හිස්කබලේ නිෂ්පාදන එකතු වී කැසීම් ඇති කිරීමට හේතු වෙනවා. ඒ නිසා ඩ්‍රයි ෂැම්පු නිතරම භාවිතා කිරීමෙන් වලකින්න.

03. වැඩි වේලාවක් හිසකෙස්වල කන්ඩිෂනර් ආලේප කර තිබීම

හිසකෙස් වලට කන්ඩිෂනර් යෙදීම කියන්නෙ අපේ හිසකෙස් රැකවරණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය පියවරක්. එමගින් ඔයාගෙ කේෂමූලය ආරක්ෂා කරන අතර කෙස්ගස් සිනිඳු කරනවා. ඒත් ඔයා කොණ්ඩය මත වැඩිපුර වෙලාවක් කන්ඩිෂනර් තියාගන්නවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. එමගින් ඔයාගෙ කෙස්වලට තෙල් සහිත පෙනුමක් ඇතිවෙනවා. ඒ නිසා විනාඩි 3 කට වඩා අඩු කාලයක් හිසකෙස් මත කන්ඩිෂනර් තැබීම ප්‍රමාණවත්.

04. එකම ෂැම්පු වර්ගයකට ඇලී සිටීම

කොණ්ඩෙට ගැලපෙන හොඳ ෂැම්පු එකක් හොයාගත්තම අපි ඒ ෂැම්පු එක දිගටම පාවිච්චි කරන්න පුරුදු වෙනවා. මේකෙන් වෙන්නෙ ඔයාගෙ හිසකෙස් කාලයත් එක්ක ඒ නිෂ්පාදනයටම හුරු වෙන එකයි. එතකොට ඒ නිෂ්පාදනයෙන් කලින් තරම් හොඳ ප්‍රතිඵල ඔයාට ලබාගන්න බැරිවෙනවා. ඒ නිසා කාලගුණය, ජලයේ ගුණාත්මකභාවය සහ ඔයාගෙ කොණ්ඩයට දැනෙන ආකාරය අනුව ඔයා පාවිච්චි කරන ෂැම්පු හා කන්ඩිෂනර් වර්ගය කාලෙන් කාලෙට මාරු කරන්න.

05. තෙත පිටින්ම කොණ්ඩය බන් එකක් විදිහට ගැටගැසීම

නාලා ආපු ගමන් කොණ්ඩෙ බන් එකක් විදිහට හරි, පෝනිටේල් එකක් විදිහට හරි දාගන්න පුරුද්දක් ඔයාටත් තියනවද? ඇත්තටම ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද, තෙත හිසකෙස් දුර්වල නිසා කොණ්ඩෙ තෙත පිටින්ම බැන්දම කොණ්ඩ ගස් කැඩෙන්න පටන් ගන්නවා. එමගින් ඔයාගෙ කොණ්ඩය දුර්වල සහ සිහින් වෙනවා.

06. නෑමට පෙර හිසකෙස් නොපීරීම

තෙත කොණ්ඩෙ ගැට ගැහුණම ඒ ගැට ලිහාගන්න එක හරිම අමාරුයි. ඒ නිසා නිතරම නාන්න කලින් කොණ්ඩෙ ගැට ලිහලා පීරගන්න පුරුදු වෙන්න. හිසකෙස් සෝදා ගැනීමෙන් පසු පීරනවාට වඩා, ස්නානය කිරීමට පෙර පීරීමෙන් ගැට ගැසීම් වලක්වා ගැනීමට සහ කෙස්ගස් වැඩි කාලයක් පටලැවීමකින් තොරව තබා ගැනීමට ඔයාට උදවු වෙනවා.

Leave a Reply

Your email address will not be published.