කොට්ටයක් නොමැතිව නිදාගන්න පටන් ගැනීමෙන් ඔබේ ශරීරයට වන දේවල්

මුලින්ම කොට්ට නිර්මාණය කරලා තියෙන්නෙ මෙසපොතේමියාවේ කියලයි සඳහන් වෙන්නෙ. ඒවා ගලින් සාදන ලද අතර, ඒවාගේ මිල දැරිය හැකි වුණේ ධනවත් පුද්ගලයන්ට විතරයි. පැරණි ගල් කොට්ට වගේ නෙවෙයි, අද අපි පාවිච්චි කරන කොට්ට මෘදු සහ සිනිඳුයි. ඒ නිසා ගොඩ දෙනෙක්ට ලොකු සුවපහසු කොට්ටයක් බදාගන්නෙ නැතුව නිදාගන්නත් බැරිවෙලා තියනවා. ඒත් ඇත්තටම කොට්ටයක නිදා ගැනීම අපේ ශරීරයට සහ මනෝභාවයට බලපෑ හැකි බව පර්යේෂකයන් හොයාගෙන තියනවා.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ කොට්ටයක් නොමැතිව නිදාගැනීමෙන් ඔයාට ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

01. කොන්දේ වේදනාව ඇතිවීම වළක්වනවා.

ගොඩක් කොට්ට අස්වාභාවික නිදාගැනීමේ ඉරියව්වකට හේතු වෙන අතර ඒවා මගින් ලබාදෙන සහය දිගු කාලයක් පවතින්නේ නෑ. කොන්දේ වේදනාවට හේතු වෙන්නෙ කොට්ටයම විතරක් නෙවෙයි, ඔයා නිදාගන්න වැරදි ඉරියව් නිසාත් කොන්දේ වේදනාව ඇතිවෙන්න පුලුවන්. ඔයා කොට්ටයක් නැතුව නිදාගන්නකොට කොඳු ඇට පෙළට විවේකයක් ලැබෙන අතර ඔයාගෙ ශරීරයත් එහි ස්වභාවික ස්ථානයේම පවතිනවා.

02. බෙල්ලේ වේදනාව සමඟ කටයුතු කිරීමට උදව් වෙනවා.

සමහර කොට්ට මගින් ඔයාට නිවැරදි ඉරියව්වෙන් නිදා ගැනීමට උදවු කරන්නෙ නෑ. ඒ වගේම නිදාගැනීමේ ඉරියව් පවා නරක අතට හරවනවා. ඔයාගෙ බෙල්ල දිගු වේලාවක් ඕනෑම ආකාරයකින් නැමීම නිසා ඔයාව අපහසුතාවයට පත් කරන අතර, ඉතා තද හෝ ඉතා මෘදු කොට්ට භාවිතා කිරීමෙන් බෙල්ලේ කැක්කුමක් ඇතිවෙන්න ඉඩ තියනවා.

03. හිසරදයට එරෙහිව සටන් කරනවා

ගොඩක් අය හිසේ කක්කුමක් ඇති වුණාම ඒකට දොස් කියන්නෙත් නිදාගන්න කොට්ටයටයි. ඉතා උස් වූ කොට්ට මගින් ඔයාගෙ හිස සහ බෙල්ල ඉදිරියට වට කිරීමට හේතු වන අතර, ඒවා බෙල්ලේ මාංශ පේශිවලට වැඩි ආතතියක් ඇති කරනවා. උදේට නැගිට්ටම හිසරදයක් දැනෙන්නෙ ඒ නිසයි.

04. ආතතිය සමනය කරනවා.

ඔයාගෙ කොට්ටය රාත්‍රියේදී ඔයාට අපහසුතාවයක් ඇති කරනවා නම්, ඒකෙන් ඔයාගෙ නින්දට බාධා ඇතිවෙනවා. නින්දට බාධා ඇති වන තරමට, නින්දේදී සිදුවන වැදගත් කාර්යයන් සඳහා ශරීරයට ලැබෙන කාලය අඩු වෙනවා. හොඳින් නින්ද නොයාම ඔයාගෙ මනෝභාවයට සහ සිතීමේ හැකියාවට බලපාන අතර, දවල් කාලයේදී ඔයාගෙ ශරීරයෙන් වැඩිපුර ආතති හෝමෝන මුදා හැරීමටත් හේතු වෙනවා.

05. මුහුණේ කුරුලෑ ඇතිවීම වළක්වනවා.

කොට්ටය ඉවත් කිරීම අපේ සමටත් ගොඩක් හොඳයි. ඔයාගෙ මුහුණ සාමාන්‍යයෙන් රාත්‍රියේදී බොහෝ වේලාවක් කොට්ටය මත තද වෙලා තියනවා. ඔයා දිනපතාම කොට්ට උරය සෝදන්නෙත් නැති නිසා, මුහුණේ තියන කුණු, තෙල් විතරක් නෙවෙයි, ගෙදර තියන දූවිලිත් කොට්ට උරයට එකතු වෙනවා. මේ නිසා මුහුණේ සම රැළි වැටීම සහ කුරුලෑ ඇතිවීමටත් හේතු වෙනවා.

06. හිසකෙස් සඳහා හොඳයි.

කොට්ටයක නිදාගන්නකොට කොණ්ඩෙ වියලීමට සහ පැටලීමට හේතු වෙනවා. එතකොට ඔයාගෙ කෙස්ගස් දුර්වල වෙලා කැඩෙනවා. ඔයා රෑට නින්දේදි පෙරළෙනකොට, ඔයාගෙ හිසකෙස් කොට්ට උරය මත ඇතිල්ලිලා කෙස්ගස් කැඩිලා යනවා. ඒ වගේම කොට්ට උරවලට ඔයාගෙ හිසකෙස්වලින් තෙල් අවශෝෂණය කර වියළි සහ කැඩෙනසුලු තත්ත්වයට පත් වෙනවා.

වැදගත්: අපි මේ ලිපිය අරගෙන ආවෙ ඔයාට මේ දැන දැනුමක් ලබාදෙන්න විතරයි. මේ ගැන වෘත්තීය උපදෙස් සහ රෝග විනිශ්චය දැන ගැනීම සඳහා, කරුණාකර වෛද්‍යවරයෙක් හමුවන්න.

Leave a Reply

Your email address will not be published.