වෙන්වීමෙන් පසුව පමණක් මිනිසුන් සොයා ගන්නා දේවල් 7ක්

අපි හැම කෙනෙක්ටම වගේ සම්බන්ධතාවයක් බිඳ වැටිලා දුකින් කාලය ගත කරපු අසුන්දර කාලයක් තියනවා. ඒත් ඒ කාලයේදි ජීවිතය ජයගන්න දෙයක් කරගන්නෙ කීයෙන් කී දෙනාද? සමහරු දුක් වෙමින්, පසුබහිමින්, සමහර විට හැර ගියපු අයට වෛර කරමින් කාලය ගත කරනවා. ආදරයෙන් එක වරක් පැරදුණා කියලා මුළු ජීවිතෙන්ම පැරදෙන්න උත්සාහ කරන්න එපා.

සම්බන්ධතාවයකින් වෙන් වුණු පසුව හිත හදාගන්න වගේම, අලුත් සම්බන්ධයක් පටන් ගන්න කලින් ඔයාගෙ අනාගතය ඔයාට කැමති විදිහට හදාගන්නත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන උපදෙස් 7 ක් තමයි, අද අපි ඔයාට අරගෙන ආවේ.

01. ඔයාට අවධානය දෙන්න.

මුලදි, ඔයා ඔයා ගැනම දුක් වෙයි. ඔයා දුක් විඳියි. හැබැයි ඒ හැමදාටම නෙවෙයි. ඒ මතක වලින් ඈත් වෙන්න ඔයාට කාලයක් යයි. හැබැයි ඉතින් ඒ දේවල් ගැන හිත හිත තවත් දුක් වෙලා වැඩක් නෑ.

සාමාන්‍යයෙන් නම්, ආදරය කරන කෙනෙක්ගෙන් වෙන් වුණාම පළවෙනි දවස් 90 තමයි අමාරුම කාලය වෙන්නෙ. ඒ කාලය තුළදි, ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින්න. ඔයාට රිදවන දේවල් ඔයාගෙන් ඈත් කරන්න. ඔයාගෙ පෙනුම හා සෞඛ්‍යයට අවධානය යොමු කරන්න.

02. ඔයා ගැන දැනගන්න.

සම්බන්ධතාවලදී මිනිසුන් ගොඩක් සම්මුතීන් ඇති කර ගන්නෙ අනෙක් කෙනාගෙ හිත සතුටු වෙන විදිහටයි. එතකොට ඔයාට ඔයා ගැන හිතන එක පවා අමතක වෙනවා. එයා කැමති දේවල්වලටම කැමති වෙන්න හුරුවෙනවා.

ඔන්න මේ කාලය තමයි ඔයා කැමතිම දේවල් කරන්න සුදුසුම කාලය. කලින් මගහැරුණු දේවල් දැන් කරන්න. ඔයාව සතුටින් තියන්න. ඔයා කැමති අකමැති දේවල් ගැන දැනගන්න.

03. විවේකයක් ගන්න.

ඇත්ත වශයෙන්ම, චිත්‍රපටවල ඉන්න අයට වගේ හැම කෙනෙක්ටම ටික කාලයක විවේකයක් ලබාගන්න බෑ. හැබැයි ඔයාට ඒ විවේකය වෙනත් විදිහකට ලබාගන්න පුලුවන්. එක්කො අලුත් කෑමක් හදන්න. නැත්නම් ලස්සන පොතක් කියවන්න. මේ වෙලාවෙදි ඔයාගෙ ෆෝන් එක ඔයා ලඟ තියාගන්න එපා. ඔයා පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයකින්ම ඉවත් වෙන්න. අඩුම තරමේ පැයක්වත් නිදහසේ ඉන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගෙ හිත නිදහස් වෙනවා. ඊලඟට ඔයා කරන්න ඕන මොනවද කියලා හිතන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

04. සම්බන්ධතාවයක තනිව ඉන්නවාට වඩා තනිකඩව සිටීම හොඳයි.

මිනිසුන් එයාලගෙ සබඳතා තදින් අල්ලා ගැනීමට එක ප්‍රධාන හේතුවක් තමයි, එයාලට තනිවෙන්න තියන බය. තනියම චිත්‍රපටයක් බැලීම, ආපන ශාලාවක රාත්‍රී ආහාරය ගැනීම හා තනියම සති අන්තය ගත කිරීම වගේ දේවල්වලට ගොඩක් අය බයයි. මොකද එයාලා තනිවෙන්න බයයි. ඒත් ඇත්තටම අපි බය වෙන්න ඕන ශාරීරිකව තනිවෙලා ඉන්න නෙවෙයි, අපේ සිතුවිලි හා හැඟීම් සමඟ තනිවෙන්නයි බය වෙන්න ඕන.

තනිකඩව ඉන්න එකයි, තනිව ඉන්න එකයි සම්පුර්ණයෙන් වෙනස්. මේක බෙහෙත් ගන්න තරම් ලෙඩක් නෙවෙයි.

05. “නිවැරදි පුද්ගලයා” සොයා ගන්න කලින් “වැරදි පුද්ගලයා” අතහරින්න.

සම්බන්ධතාවයක් අවසන් වුණාම තවත් කෙනෙක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. මුලින්ම ඔයාව තේරුම් ගන්න. ඔයාට ගැළපෙන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා හිතන්න. ඒ වගේම ඔයාව ගැලඔඑන්නෙ මොන වගේ කෙනෙක්ටද කියලත් හිතන්න. හැබැයි අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් කලින් කෙනාව සම්පූර්ණයෙන්ම අතහැරලා ඉන්න.

හරිම කෙනා හොයා ගන්න නම් වැරදි කෙනාගෙන් අයින් වෙන්නම වෙනවා. ඒ නිසා අලුතෙන් සම්බන්ධයක් පටන් ගන්න කලින් ඔයාගෙ අඳුරු අතීතය අමතක කරන්න උත්සාහ කරන්න.

06. දැන් ඔයාට ඕන දෙයක් කරන්න පුලුවන්.

ගොඩක් අය සම්බන්ධතාවයකදී තමන්ගෙ සහකරු වෙනුවෙන් තමන්ගෙ හීන කැපකරනවා. ඔයාගෙ සහකරු හමුවෙන්න කලින් ඔයාට තිබුණු සැලසුම්, හීන හැම දේම ඔයා සම්බන්ධතාවය නිසා අතහැරගන්න ඇති. ඒත් දැන් එයා නෑනේ. ඉතින් ඔයා දැන් නිදහස්. මගහැරුණු හීන හැබෑ කරගන්න උත්සාහ කරන්න හොඳම කාලය තමයි මේ.

07. වෙනත් කෙනෙක් එක්ක සතුටින් ඉන්න නම්, මුලින්ම ඔයා සතුටින් ඉන්න ඕන.

තවත් කෙනෙක් එක්ක සතුටින් ඉන්න කලින් ඔයාට සතුටක් ලබාදෙන දේවල් කරන්න. ඔයා කැමති දේවල් අත්හදා බලන්න. ඔයාගෙ සතුට ගැන මුලින් හිතන්න.

අලුත් කෙනෙක් හොයාගන්න කලින් ඔයාට ඔයාගෙ ජීවිතයේ සම්පූර්ණ කරගන්න තියන දේවල් සම්පූර්ණ කරගෙන ඉන්න.

මිනිසුන්ට තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට ක්‍රමයක් තියනකොට, එයාලට සතුටක් දැනෙනවා. ඔයාගෙ පෙනුමටත් එහෙමයි. තනියම ඉන්නකොට ඔයාට කාටවත් යටත් වෙලා ඉන්න වෙන්නෙ නෑ. කැමති ඇඳුම් අඳින්න කාගෙන්වත් අදහස් විමසන්න ඕනෙ නෑ. කැමති දේවල් කරලා ලස්සනට ඉන්න නම් මේක තමයි හොඳම කාලෙ.

ඕනම වෙලාවක, සම්බන්ධයක් ඉවර වෙනකොට ඒක ඔයාට විතරක් වුණු දෙයක් කියලා හිතන්න එපා. ඒ අත්දැකීම විඳපු නැති මේ ලෝකෙ නැති තරම්. හැබැයි වෛර කරන්න එපා. හිතේ තරහ තියාගෙන සතුටින් ඉන්න බෑ. ඒ කෙනා එක්ක තියන සුන්දර මතක විතරක් හිතේ තියාගන්න. වැරදි ගැන හිතලා තරහක් ඇති කරගන්න එපා.

Leave a Reply

Your email address will not be published.